කෙන්සින්ටන් උද්‍යානයට සරත් සමය උදාවේ

කෙන්සින්ටන් උද්‍යානයට සරත් සමය උදාවේ

ලංකාවේ අපට ශීත, වසන්ත, ගිම්හාන, සරත් ආදී ලෙස සෘතු භේදයක් නැත. අපට ඇත්තේ මෝසම් භේදයකි. එයද දැන් ගෝලීය උණුසුම වැඩිවීමෙන් පාරිසරික ක්‍රියාවලිය නිසා අවුල් වී ඇත. රටාවන් නැති වියවුලක් බවට කාළගුණය පත්වෙමින් පවතී.

කෙසේ වෙතත් උතුරු ධ්‍රැවයට ආසන්න රටවලට මේ සරත් සමයයි. ලා හෝ තද කොළ පැහැ ගුරු ලතා සියල්ලම නෙක වර්ණ ගැන්වෙන්නේ සරත් සමයේදීය. ශීත සමය උදාවෙත් ම කොළ සියල්ල හැලීගොසේ තුරු ලතාවන් නිරුවත් වී හිම වර්ෂාව සූදානම් වෙයි.
ධ්‍රැව ආසන්න ප්‍රදේශවල සෘතුභේදයට මූලික වන්නේ පෘථීවියේ අක්ෂය සිය සූර්යා වටා ගමන් තලයට දක්වන ආනතියයි. පෘථුවියේ සිට සූර්යාට ඇති විටින් විට වෙනස් වන දුර, එහි තමන් වටා වූ භ්‍රමණය, සදු තරු ඇතුළු අන්‍ය ග්‍රහයින්, ග්‍රාහක, විකිරණ වර්ෂාව ආදී තවත් බොහෝ හේතු ඇත ද, පෘථවිගේ ඇලය ගෝලීය කාළගුණය, දේශගුණය තීරණය කිරීමේ ප්‍රධාන සාධකය වේ.

වසන්තයේ ළා දළු, ගිම්හානයේ තද කොළ හා සරත් සමයේ නේකවිධ වර්ණ සමග ශීත සමයේ අඳුරු සෙවණැලි මැවෙන්නේ ඒ නිසාය. ලන්ඩනයේ ආයෝජන සමුළුව හා එහි මැතිඇමතිවරු ඇතුළු දේශපාලන අධිකාරියේ නායකයන් බ්‍රිතාන්‍යයේ තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් හමුවීමට අපගේ මහනගර සැලසුම් සාකච්ඡා කිරීමට පසුගිය දා මම එහි ගියෙමි.

එවිට ලන්ඩනයේ සරත් සමය උදා වී තිබිණි. කෙන්සින්ටන් නම් ගමේ දාහත්වන සියවසේ දී ගොඩනගන ලද කෙන්සින්ටන් උද්‍යානය හා මන්දිරය සහිත ප්‍රදේශයේ ළාහිරු එළියෙන් ශීතල පිණිමත්තේ දිගු දුරක් ඇවිද ගියෙමි. කලක් වික්ටෝරියා රැජිණට ද, තවත් කළක් හිට්ලර්ගේ ප්‍රහාරක යාත්‍රාවල පිපුරුම්වලට ද, තවත් වරක් ඩයනා කුමරිය හා ඇගේ දරුවන්ට ද ජීවිත නැවතුමක් වූ කෙන්සිස්ටන් මන්දිරය, ජල තටාකය හා උද්‍යානය දැන් සරත් සුව ලබමින් සිටී.
කෙන්සින්ටන් නැමැති මහා මන්දිර දහස් ගණනක් බ්‍රිතාන්‍ය තුළ ගොඩනගන්නට සිය රටවල ශ්‍රමය, ධනය අකමැත්තෙන් කැප කළ ආසියා, අප්‍රිකා, කැරිබියානු සංචාරකයන් රැසක් එහි ජීවත් වන පරවියන්, මාලගිරවුන්, හංසයන්, පාත්තයින් හා වර්ණවත් උද්‍යාන තුළ කැමැත්තෙන් සැරිසරනු දුටුවෙමි.

මේ එහිදී මගේ කාචයේ සටහන් වූ රූ දසුන් කිහිපයකි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *