සකල ලෝකවාසී නිර්ධනයිනි සමගිවව් ! – කාල් මාක්ස්

සකල ලෝකවාසී නිර්ධනයිනි සමගිවව් ! – කාල් මාක්ස්

‘‘ වැදගත් වන්නේ ඉතිහාසය විවරණය කිරීම නොව එය වෙනස් කිරීමයි..‘‘ ලන්ඩනයේ හයිගේට් සුසානයේ පිහිටි කාල්මාක්ස්ගේ හා බිරිද ඇතුළු පවුලේ සැමගේ සොහොන් කොතේ ඔහුගේ චිර ප්‍රසිද්ධ කියමන කොටා තිබුණු දුටුවෙමි.

සුසානය කරා විශාල සංචාරක පිරිසක් ඇදී එන අතර සාතිශය බහුතරයකගේ පිපාසාව කාල්මාක්ස්ගේ සොහොන දැකීමත් එය ‘වන්දනා‘ කිරීමත් ය. සොහොන් කොත අවට තරමක අපිළිවෙලක් තිබුණද, සොහොන පාමුල පිළිවෙලට තැබූ මල් පොකුරු, ඉටිපන්දම් ආදී බොහෝ ‘පූජා භාණ්ඩ‘ විය. ‘ආගම‘ නිර්ධනයන්ගේ අබිං යැයි කී මාක්ස් අද සිටියා නම් මාක්ස් හා මාක්ස්වාදය රාජ්‍ය ආගමක සිට ඇදහිල්ලක් දක්වා ව්‍යුහගත වී ඇති අයුරු දැක මාක්ස්විරෝධියෙකු වන්නට ඉඩ තිබිණි.

මාක්ස් යුරෝපීය ඓතිහාසික පරිණාමය හා එමගින් ගොඩනැගුණු යුරෝ කේන්ද්‍රියවාදයේ වැදගත් ප්‍රතිඵලයකි. අනෙක් වැදගත් කරුණ නම් ඔහු ඇදහිල්ලක් වී ඇත්තේ යුරෝපයේ නොව යුරෝපය විසින් පීඩාවට පත් කළ ලෝකය තුළ වීමයි.

යුරෝපය යනු මධ්‍යධරණී සාගරය අවට රටවල් සමග අනුලංඝනීය ලෙස බැදී ඇති ගැටුම් විසින් ම පරිණාමීය වූ භූ-පාරිසරික-මානවීය ක්‍රියාවලියකි.

දැනට පිළිගත් ප්‍රධාන විශ්වීය-භූ විද්වතුන්ට අනුව පෘථවිය වසර බිලියන 4-5ක කාලයකට මහාපිපුරුමක් සහිතව බිහි වූවකි. ඉන්පසු එය ක්‍රමයෙන් සිසිල් විය. එක් විශාල මහද්වීපයක් (පැන්ජියා) හා සාගරයක් ඇති වූ බවත් වසර මිලියන දෙසීයක පමණ කාලයක දී එය කොටස්වලට විභේදනය වෙමින් චලනය වී එකිනෙකා හා ගැටී තවමත් චලනයේ යෙදෙන මහාද්වීප ඇති වූ බවත් ප්‍රකාශ වේ.

හිමාලය මෙන් ම ඇල්ප්ස් කදුවැටිය ද බිහිවන්නේ එවැනි භූතල දෙකක ගැටීම නිසා බවයි පැහැදිලි කිරීම.

වසර මිලියන 6-2කත් අතර කාලයක මානවයාට සමාන විවිධ ජීව විශේෂ මධ්‍යධරණියේ, යුරෝපයේ වාසය කළහ. එයිනුත් වසර ලක්ෂ 05 – වසර 30,000 අතර ජීවත් වූ නියැන්ඩර්තාල් මානවයා හා නූතන මානවයාගේ දෙමුහුන් වීමක ප්‍රතිඵලයක් ලෙස නූතන යුරෝපියාගේ මානවීය – ශරීර ගොඩනැගුනු බව කියැවේ. ඊළග ක්‍රියාවලිය ඇරඹුනේ වසර 15,000 – 6,000 අතර සිදු වූ මහා ග්ලැසියර දියවීමත් සමග ය. උතුරු ධ්‍රැවයට ආසන්න ප්‍රදේශවල තිබූ දැවැන්ත හිම තට්ටු දිය වී සංක්‍රමණික ආක්‍රමණික මානවයන්ට එහි ජනාවාස සදහා ඉඩ ලැබිණි. (මෙය පෘථවියේ ඇලය වෙනස් වීම නිසා ඇති වන මිලන්කොවික් ආවරණය ලෙස හැදින්වේ. නැවැත මෙවැන්නක් ඉදිරි වසර 5,000-15,000 අතර සිදු විය හැකිය‍.)

මෙලෙස යුරෝපය හා මධ්‍යධරණිය යනු භූගෝලිය ලෙසත්, කාළගුණික ලෙසත්, පාරිසරික ලෙසත්, මානවීය ලෙසත් ගැටුම් ප්‍රතිගැටුම්වල පිපුරුම් සහිත පරිවර්තනවල භූතලයේ -කාළගුණ තලයේ සිට ජාන තලය දක්වා ප්‍රතිඵලයකි.

ඉන්පසු මේ ප්‍රදේශය මහා සංක්‍රමණවලට, එනයින් පැනනැගුණු ප්‍රතිරාජ්‍ය ගැටුම්වලට තෝතැන්නක් විය. ග්‍රීසිය විසින් පර්සියාව පරාජය කිරීම ඇතෑන්ස් විසින් ස්පාර්ටා පරාජය කිරීම සිට දෙවන යුරෝපා ( ලෝක) සංග්‍රාමය දක්වා යුද්ධය, ඝාතනය, පැවැත්ම සදහා පරිසරය වෙනස් කිරීම සහිතව ශිෂ්ටාචාරමය ගැටුම්, ජනවාර්ගික ගැටුම්, ආගමික ගැටුම් ආදී අනවරත ගැටුමක් යුරෝපය හා මධ්‍යධරණී කලාපයෙහි හදුනාගත හැකිය.

මේ නිසා යුරෝපයේ සිට බලන්නෙකුට මානව සමාජයත් ලෝකයත්, විශ්වයත් පෙනුනේ ගැටුම්, අරගල, යුද්ධ, විප්ලව පිපුරුම් සහිත මෙවලම් නිර්මාණය වන යුධ පිටියක් ලෙස ය. මාක්ස් මේ යුරෝ කේන්ද්‍රවාදයේ බලගතු ප්‍රකාශකයෙක් විය.

දැන් මේ යුරෝ කේන්ද්‍රවාදය ලොව පුරාම පැතිර ගොස් ඇත. ඒවාට දැන් ‘විශ්වීය‘ අගයක් ලැබී ඇත. කෙසේ වෙතත් මාක්ස් ඇතුළු නූතනවාදී, යුරෝ කේන්ද්‍රවාදී දාර්ශනිකයන් දේශපාලකයින් සමාජ සංවිධාන ආදී සියල්ලන්ට ගැටුම් මතින් පමණක් ලොව ජයගත නොහැකි බව පාරිසරික විනාශයන් මධ්‍යකාලීන ආගමික අන්තවාදයන් හා මූල්‍ය වෙළද පොලේ අස්ථාවරත්වය විසින් විටින් විට පෙන්වා දී ඇත.

එහෙයින් වඩා වැදගත් වන්නේ කෙසේ හෝ ඉතිහාසය වෙනස් කිරීම නොව ඉතිහාසයේ පාඩම් මගින් අනාගතය ප්‍රතිනිර්මාණය කිරීමය.

සකල ලෝකවාසී මානවයිනි, සමගිවව්. එසේ නොවුනහොත් නුඹලාට අරගල කිරීමට මානව සමාජයක් ඉතුරුවන්නේ නැත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *